අද පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ හතක් (07) වාර්තා වී තිබේ.
රත්නපුර - ඇල්පිටිය මාර්ගයේ ඊයේ පස්වරුවේ ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ගොඩකවෙල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ අලුයම හොරණ - තල්ගහවිල මාර්ගයේදී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මෙම පුද්ගලයා ලිස්සා ගොස් පෙරළී ගොස් තිබෙනවා. මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කඩවත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් ද මියගොස් තිබේ. කොළඹ - නුවර පාරේ බංගලාවත්ත ප්‍රදේශයේදී ඊයේ මෙම පුද්ගලයාට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව වීදි ලාම්පුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
වැල්ලව පොලිස් වසමේ දී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය ගැටී ඇත්තේ කාන්තාවක් සහ බාලවයස්කාර දරුවෙකු ගමන් කළ ත්‍රිරෝද රථයේ ය. ත්‍රිරෝද රථයේ රියදුරු වූ 24 හැවිරිදි තරුණයා මියගොස් ඇති අතර කාන්තාව සහ දරුවා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්තනගල්ල පොලිස් වසමේ යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව වීදි ලාම්පුවක ගැටීමෙන් 34 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
තඹුත්තේගම පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 13 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබේ. ළමුන් දෙදෙනෙකු සමඟ පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු පදික මාරුවක් ආසන්නයේදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා සහ කුඩා දරුවන් දෙදෙනා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තරුණයා මියගොස් තිබේ. පාපැදිකරු සහ ඔහුගේ අනෙක් 14 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇත.
මැල්සිරිපුර ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ ගමන් කර තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

Comments
Post a Comment