මන්ත්‍රී ශානකියන්ට එරෙහිව අධිකරණ නියෝගයක්


දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසන්නේ සතියක කාලයක් සඳහා තමාට රජයට එරෙහි කිසිදු විරෝධතාවයකට සහභාගී වීම තහනම් කර ඇති බවයි.


මන්ත්‍රීවරයා කියා සිටියේ හෙට (29) සිට දින 14ක් යනතුරු කිසිදු රාජ්‍ය විරෝධී විරෝධතාවයකට සහභාගී වීමෙන් වළකින ලෙසට පොලීසිය විසින් කලුවාන්චිකුඩි මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් තමා වෙත භාර දුන් බවයි.


"අධිකරණ නියෝගයට අනුව, මා විසින් විරෝධතා නොපවත්වන ලෙසත්, මට සම්බන්ධ පුද්ගලයින් පොදු දේපළවලට හානි කරන විරෝධතාවලට සහභාගි නොවිය යුතු බවත්," පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පැවසීය.


උද්ඝෝෂණයක් නොකරන්නැයි නියෝගයෙන් නොකියන බවත්, නමුත් ඒ සමඟම උද්ඝෝෂණයක් කිරීම අධිකරණ නියෝගය කඩ කිරීමක් බවත් ඔහු පැවසීය.


ශානකියන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විරෝධතා පවත්වන අවස්ථාවක තමාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කලුවාන්චිකුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයා සමත් වී ඇති බවයි.


රට තුළ ඇත්තේ එක නීතියක්ද නැතිනම් දෙමළ ජනතාවට වෙනත් නීතිද යන්න ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, දෙමළ ජනතාවට විවිධ නීති පිළිබඳ දීර්ඝ කාලීන ප්‍රශ්නය කලුවංචිකුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙන් යළිත් වරක් ඔප්පු වී ඇතැයි පැවසීය.


මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව පාරට බැස ඇති අවස්ථාවක මෙම අධිකරණ නියෝගය ලබා ගැනීම පිළිගත නොහැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.


මෙවැනි අධිකරණ නියෝග නිකුත් කරමින් මහජනතාවගේ නිදහස සීමා කිරීමෙන් රජය සිදු කරන්නේ ඔවුන් පලවා හැරීමට මහජනතාවට තවත් ධෛර්යයක් ලබාදීම පමණක් බවද හෙතෙම පැවසීය.


අද දිනයේ කිසිදු විරෝධතාවයකට සහභාගි වීමට තමන් කිසිවිටෙක අදහස් නොකළ බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් මහතා ජනාධිපතිවරයා ඉල්ලා අස්වන තුරු ජනතා විරෝධතා සඳහා තම සහය අඛණ්ඩව ලබාදෙන බවද කියා සිටියේය.

Comments

Popular posts from this blog